මුල අමතකවීම ගැන කණගාටුයි : ඉල්ලා අස්වෙන්න සුදානම් – රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර

July 9, 2021 at 9:31 AM

තමා ඉල්ලා අස්වීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශයක් කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඊයේ (08) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

“මම ප්‍රකාශයක් කළා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් මම ඉල්ලා අස්වීමට සුදානම්, ඒක භාර අරන් කවුරුහරි වැඩ කරනවා නම් වැඩකරන්න කියලා. ඒකට මගේ එකඟතාවය තියෙනවා. කවුරුත් ඉල්ලන නිසා නෙමෙයි. අපේ පක්ෂය තීන්දු කරනවා නම්, පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරනවා නම්, පක්ෂ නායකතුමා කියනවා නම් කරුණාකරලා අයින් වෙන්න කියලා‍ මම අයින්වෙලා ඒක දෙන්න සුදානම්. කිසි ගැටලුවක් නෑ. මේ වගේ හැමදාම ඉන්න බලාපොරොත්තුවක් නෑ. ඒකට තාම පිළිතුරක් ලැබුණේ නෑ. ලැබුණොත් හෙට උදේ අයින් වෙන්න කියලා. මම අයින්වෙලා නිකන් ඉන්නවා.“

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු සියලු පාර්ශවවලට මුල අමතක වීම මෙම ගැටලුවලට හේතුව වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.