කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් ඊයේ සවස කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. එම මෝටර් රථයේ තවත් කාන්තාවක් ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.
නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රිය ගේට්ටු වැසීම සඳහා නිසි අයුරින් සංඥා ලබානොදීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. අනතුරෙන් මෝටර් රථයට ද බරපතළ හානි සිදුවී තිබෙනවා.
කොල්ලුපිටියේ රැකියා ස්ථානයේ සිට මහරගම නිවස කරා ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් එම අනතුරට මුහුණ දී තිබෙනවා.
මෝටර්ථය ගැටී තිබුණේ කොළඹ සිට පාදුක්ක දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකයි. දුම්රිය ආසන්න වනවාත් සමගම මෝටර් රථයේ එන්ජිම නතර වී ඇති අතර මෝටර් රථයේ බඳ කොටසේ දුම්රිය ගැටී තිබෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
දුම්රිය ගැටීමෙන් පසු මෝටර් රථය අඩි 8ක් පමණ ඉදිරියට ඇඳීගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දුම්රිය ගේට්ටු ක්‍රියාකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කර ඇත්තේ දුම්රිය ගේට්ටුව වැසීම සඳහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් නිසි දැනුම්දීමක් නොලැබුණු හෙයින් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
