පුද්ගලයෙකු පැහැර ගත් හමුදා කපිතාන් ඇතුළු 04ක් අත්අඩංගුවට

July 4, 2021 at 1:41 PM

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට අදාළව යුද්ධ හමුදාවේ කපිතාන්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු නොරොච්චෝලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, සේරුනුවර කල්ලාර් කඳවුරේ සේවය කරන යුද්ධ හමුදා කපිතාන්වරයෙකු, කොප්‍රල්වරයෙකු සහ ලාන්ස් කොප්‍රල්වරයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දීමක් සම්බන්ධයෙන් පසුගිය ජූනි 30 වන දා පොලිසියට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදී අදාළ සිද්ධියට යුද්ධ හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු සම්බන්ධ බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

පසුව ඒ බව යුද්ධ හමුදාවට දැනුම් දී ඇති අතර යුද්ධ හමුදා පොලිසිය මගින් කළ විමර්ශනයකදී අදාළ සැකකරුවන් පිළිබඳ අනාවරණය වී තිබේ.

පසුව යුද්ධ හමුදා පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනා නොරොච්චෝලේ පොලිසිය වෙත භාර දෙන ලද බවත් එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

පෞද්ගලික අමනාපයක් හේතුවෙන් යම් පුද්ගලයෙකුගේ පෙළඹවීම මත පැහැරගැනීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අද (ජූලි 04) දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් සම්බන්ධයෙන් හමුදා නීතිය යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව යුද්ධ හමුදාපතිවරයා ප්‍රකාශ කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.