ශ්රී ලාංකිකයින් හට නවතම සංචාරක අත්දැකීමක් ලබාදීම හා විදේශීය සංචාරකයින් මෙරටට ආකර්ෂණය කිරීමේ අරමුණින් ‘‘කොළඹ කුරුළු උද්‍යානය” සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ප්‍රධානත්වයෙන් අද (28) දින මාදිවෙලදී ආරම්භ කෙරුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන ‘‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය හා රජයේ සංවර්ධන සැලැස්මට අනුව කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශ අද වන විට ඉහල සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශයක් බවට පරිවර්තනය වෙමින් පවතී.
ඒ යටතේ තෙත් බිම් උද්‍යාන, නාගරික වන උයන්, නාගරික කෘෂි උද්‍යාන ඇතුළු දේශීය හා විදේශීය සංචාරකයින් කොළඹ නගරයට ආකර්ෂණය කර ගැනීමේ ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අනුව ඉදිකිරීම් ආරම්භ කර ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය සතු මාදිවල පිහිටි අක්කර 39 ක පමණ විශාලත්වයකින් යුක්ත වගුරු බිමක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට නියමිතය.
අදවන විට මෙම වගුරු බිම අවට පදිංචිකරුවන් විසින් අනවසරයෙන් අත්පත්කර ගැනීම්, අපද්‍රව්‍ය බැහැර කිරීම්, තෙත්බිම හරහා ගලා බසින ඇළ මාර්ගයන් වෙත මල අපවහන පද්ධති සම්බන්ධ කිරීම හා අනවසර ලෙස ගොඩකිරීම් හේතුවෙන් මෙම තෙත් බිම විශාල තර්ජනයකට හා විනාශයකට ලක්ව ඇත.
එබැවින් මෙම තෙත් බිම සුරැකීමට හා දියවන්නා ඔය හා ඍජුව සම්බන්ධ වන මෙම තෙත්බිම හරහා ගලා බසින ඇළ මාර්ග පවිත‍්‍රව තබා ගැනීමේ අරමුණින් කොළඹ කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය මාදිවල තෙත් බිම කේන්ද්‍ර කරගනිමින් මාස 24 තුළ ඉදිකිරීමට නියමිතය.
2025 වන විට කොළඹ කුරුළු උද්‍යානය ලොව සංචාරක ආකර්ශනය, අග නගරයට යොමුකර ගැනීමේ ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ප්‍රධාන අරමුණ වේ.
දෙස් විදෙස් කුරුල්ලන්ගෙන් හා ලොව ප්‍රධාන සංචාරක උද්‍යානයන්හි ඇතුලත් නවතම ක්‍රීඩා අංගයන්ගෙන් යුක්තව පරිසර හිතකාමී අයුරින් මෙම උද්‍යානය ඉදිකිරීමට නියමිතය. මෙම උද්‍යානය කුරුළු සංදර්ශන, විදේශ හා දේශීය පක්ෂි ගවේශන, ජල උද්‍යාන, වන උද්‍යාන හා අවන්හල් වලින් සමන්විත අංග සම්පූර්ණ තෙත් බිම් උද්‍යානයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම දැනට විනාශ වෙමින් පවතින මාදිවෙල තෙත් බිම සුරැකෙන අයුරින් සියළුම ඉදිකිරීම් නිම කිරීමට යෝජිත අතර තෙත් බිමෙන් 02% ප්‍රමාණයක් පමණක් සංවර්ධනය වෙන ආකාරයෙන්ද අනෙක් භූමි ප්‍රමාණය පරිසර හිතකාමී ලෙස උද්‍යාන නිර්මාණය සැලසුමකට අනුකූලව සංවර්ධනය කිරීමට යෝජිතය.
මෙම ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් බිලියන 1.51ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර වසර 02ක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතය. පරිසර හිතකාමී මෙන්ම රටේ පවතින නීතිමය ක්‍රමවේදයට යටත්ව මෙම කුරුළු උද්‍යානය ඉදිකිරීමට යෝජිත අතර ව්‍යාපෘතිය සඳහා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතනයන්හි අනුමැතිය හා සංවර්ධන සැළසුම් මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම යෝජිත කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය ආයෝජකයා විසින් ඉදිකිරීම් හා නඩත්තතු කර පවත්වාගෙන යාම සිදුකළ යුතුය.
රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරන ලද වසර 30 ක බදු වටිනාකම පදනම් කරගනිමින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකුලව
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පළපුරුදු පුද්ගලික අංශයේ ආයෝජකයකු ව්‍යාපෘතිය සංවර්ධනය නිර්මාණය, ඉදිකිරීම, මූල්‍යනය හා ක්‍රියාත්මක කිරීමේ පදනම මත තෝරාගෙන ඇත.