ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට අමානුෂික ලෙස වද දීමේ සිද්ධියක් පිළිබඳව බලගොල්ල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එලෙස අපහාස කළ පුද්ගලයින් දෙදෙනාව නිවසට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගසන ආකාරයට එම පුද්ගලයින් දෙදෙනාව ලී මත තබා ඇණ ගසා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.
මෙම සිද්ධිය ඉකුත් 25වනදා සිදුව තිබෙන අතර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී සිද්ධිය අනාවරණය කරගෙන ඇත.
පොලීසිය අනාවරණය කරගත් තොරතුරු පරිදි මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දුෂ්මන්ත නමැති 30 හැවිරිදි පුද්ගලයා අම්පිටිය සහ තවත් ප්‍රදේශයක දේවාලයක් පවත්වාගෙන යන අයෙකු වන අතර මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් තිදෙනා ඔහුගේ මිත්රයින් බවට පොලීසිය කරුණු අනවාරණය කර ගෙන ඇත.
මෙම සිද්ධිය සඳහා දේවාලය පවත්වාගෙන ගිය පුද්ගලයාට තවත් පිරිසක් සහාය දී ඇති බවද අනාවරණය වී ඇති අතර ඔවුන් මේ වනවිට අතුරුදන්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයා සහ කඩුවෙල බෝමිරිය පදිංචි 38 හැවිරිදි පුද්ගලයා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.