ගර්භනී මව්වරුන් 200කට කොරෝනා : තවත් කොවිඩ් ආසාදිත මරණ 43ක් ඊයේ වාර්තා වෙයි

June 26, 2021 at 10:26 PM

ගර්භනී මව්වරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.

එසේම, දරුවන් ප්‍රසූත කළ කොරෝනා ආසාදිත මව්වරුන් 25 දෙනෙකු පමණද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඇය කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළේ ගර්භනී මව්වරුන් අත්‍යවශ්‍යම කාරණයකට හැර වෙනත් කරුණකට නිවසින් පිටතට යෑම සිදුනොකළ යුතු බවයි.

මේ අතර, පසුගිය 25 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද පස්වරුවේ තහවුරු කළා.

ඉන් 18 දෙනෙකු කාන්තාවන් වන අතර, අනෙක් 25 දෙනා පිරිමි පුද්ගලයන් වනවා.

එම පිරිස අතුරින් 35 ක්ම අවුරුදු 60 ඉක්මවූවන්. වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගල මරණයක් වාර්තා වන අතර, අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 07 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙම මරණ 43 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 2,905 ක්.