කොවිඩ් ආසාදිත මව්වරුන් 700ක් දරුවන් බිහිකරලා

June 24, 2021 at 11:10 AM

මෙරට ගර්භණී මව්වරු 700ක් පමණ කොවිඩ් ආසාදිතව දරුවන් බිහි කර ඇති බව කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් උපුටා දක්වමින් “අරුණ” පුවත්පත වාර්තා කර සිටිනවා.

කොවිඩ් පළමු රැල්ලේ සිට මේ දක්වා කාලයේ මෙලෙස කොවිඩ් ආසාදිත මව්වරු හත්සිය දෙනා දරුවන් බිහි කළ බවත් ඔවුන් වයස 18ත් 45ත් අතර පසුවන බවත් හෙතෙම කියයි. මෙම මව්වරුන්ගෙන් ඇතැම් මව්වරු බිහි කළ දරුවන්ට කොවිඩ් ආසාදිත වී තිබූ බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

එම කොවිඩ් ආසාදිත මව්වරු බිහි කළ දරුවන්ට මෙම කෙටි කාලයේ කිසිදු සංකූලතාවක් මතු වී නැති බවත් අවධාරණය කළ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ කොවිඩ් ආසාදිත මවක් බිලිඳාට මව් කිරි ලබා දීමේ දී ඒ මගින් බිලිඳාට කොවිඩ් ආසාදනය වන බවට මෙතෙක් කරුණු තහවුරුකරගෙන නොමැති බවයි.

මේ වන විට මෙරට රෝහල්වල කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරු හාරසිය දෙනකු පමණ ප්‍රතිකාර ලබන අතර දැඩි සත්කාර ඒකකවල ගැබිනි මව්වරු පස්දෙනකු ප්‍රතිකාර ලබන බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් වැඩිදුරටත් කියා සිටි​යේ.

(උපුටා ගැනීම : අරුණ පුවත්පත)