රටේ මුල්‍ය ගැටළු විසඳා ගන්න IMF සහය ලබා ගන්න – මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ (VIDEO)

June 23, 2021 at 11:42 AM

රට පත්ව ඇති මුල්‍ය අර්බුධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පළමු වරට පාර්ලිමේන්තුව අමතමින් හිටපු අගමැතිවරයා කියා සිටියේ රටේ ආර්ථිකය විශාල අර්බුධයක් කරා යමින් සිටින බවයි.

” අපි දැන් ඉදිරියේදී විදෙස් සඳහා ඩොලර් බිලියන 100ක ණයක් ගෙවන්න තිබෙනවා. ඒ වගේම තවත් ඩොලර් බිලියන 200ක් ඉදිරියේ ගෙවන්න තියෙනවා.

අපිට ඉදිරියේදී ජාත්‍යන්තර අරමුදලෙන් කෝටි 78ක්, ස්වැප්‍ පහසුකම් යටතේ ඩොලර් කෝටි 40ක් සහ බංග්ලාදේශයෙන් කෝටි 20ක් ලැබෙන්න තියෙනවා. නමුත් මේවා මගින් ඉදිරි ආර්ථිකය දුවා ගන්න විදිහක් නැහැ.

ඒ නිසයි මම කියන්නේ අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගන්න වෙනවා.
අපි 2015-2019 වර්ෂය තුලදී IMF සහය ලබා ගත්තා.

අපේ විදේශ සංචිත තිබ්බා ඩොලර් කෝටි 700ක්, නමුත් දැන් එය ඩොලර් කෝටි 400ක් දක්වා අඩු වෙලා තියෙනවා.” හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

මේ අතර වත්මන් ආර්ථික අර්බුදයට හේතුව පවතින කොරෝනා වසංගත තත්ත්වය බවත් එය පාලනය සඳහා පත් කර ඇති කාර්ය සාධක බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඔහු තවදුරටත් කියා සිටියේ.

දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වන හමුදාපතිවරයාට කොරෝනා මර්ධය කිරීමේ ප්‍රධානත්වය දැරිය නොහැකි බවත් ඔහු පැවසුවේ.

ඔහු යෝජනා කලේ කොරෝනා පාලනය ව්‍යවස්ථානුකූලව කැබිනට් මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරයා සහ ඇමැතිවරුන් විසින් භාරගෙන සිදුකළ යුතු බවයි.