රට විවෘත කිරීම : රජයේ වෛද්‍ය නිලධාරීන් ජනතාවගෙන් කළ ඉල්ලීම

June 20, 2021 at 3:26 PM

හෙට (21) දිනයේ සංචරණ සීමා ලිහිල් කළ ද ඉතා වගකීමෙන් හැසිරෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වේගයෙන් පැතිර යන සංකුලතා වැඩි සහ මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙන ඉන්දියානු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන තිබෙන පසුබිම හේතුවෙන් ඔවුන් එම ඉල්ලීම සිදුකරන බව දැනුම් දෙයි.

එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව පැවසුවා.

සංචරණ සීමා ඉවත් කළද අත්‍යවශ්‍ය කරුණකට හැර පිටතට නොයන ලෙස කොළඹගේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

සති කිහිපයක් රට වස තැබීමේ බලාපොරොත්තුව ඉටු කරගැනීමට නම් මේ මොහොතේ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට ආසාදිතයින් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරන්නේ රට වසා තැබීම හේතුවෙන් බවත් හෙට දින සංචරණ සීමා ලිහිල් කළ විට හැසිරෙන ආකාරය අනුව එහි ප්‍රතිඵල ඉදිරි සති දෙකක කාලයකින් දැකගත හැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

”වගකීමෙන් කටයුතු කළොත් ඉදිරියේදී රට විවෘත කරගැනීමට හැකිවේවි. අපි මුල් කාලේ මරණ ගැන කතා කළේ දවසකට එකයි දෙකයි. පස්සේ 10-15ක් වුණා. ඊට පස්සේ 20ක් 25ක් වුණා. දැන් දිනක මරණ 50 ඉක්මවලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක වගකීම ඉටු කළේ නැත්නම් දිනක මරණ 100 ඉක්මවා යාම ගැන පුදුම වෙන්න ඕන නැහැ. සති කිහිපයක් රට වසා තැබීම නිසා ඇතිව තිබෙන පීඩනය නිසා තමයි මෙහෙම ලිහිල් වෙන්නේ. ඒ නිසා ඒ කාලයේදී වගකීමෙන් හැසිරෙන්න.”