දෙහිවල සත්ව උද්‍යානයේ සිංහයෙකුට කොරෝනා ආසාදනය වෙයි

June 18, 2021 at 10:01 AM
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඞ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි වාර්තා වේ.

මෙසේ කොරෝනා වැළඳී ඇත්තේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාටය.

දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.

ඉන් පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකළ සතාගේ සෙම පටල පරීක්ෂාවෙන් කොවිඞ් බවට තහවුරු වී ඇත.

මේ අතර සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් නිරෝධායනය කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

සිංහයා ලෙඩ වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් සිටි බවත් වාර්තා වේ.

කෙසේවුවද, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැති බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

ආසාදිත තෝර් නමැති සිංහයා වෙසෙන සිංහ දූපත තුළ 2012 වසරේදීම මෙරටට ගෙන එන ලද ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු සිටින බව වාර්තා වේ.

කෙසේවුවද, වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පුවත්පතකට පවසා ඇත්තේ සත්වෝද්‍යානයේ සිංහයකු අසනීප තත්ත්වයෙන් පසුවන බව සැබෑ නමුත්, සතුන් සඳහා ලබාගන්නා පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රතිඵල දෝෂ තිබිය හැකි බැවින් ඉන්දියාව සමග කතා කර නිවැරදි පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවයි.