ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෙවර 2021 “බ්ලූ ප්ලැනට් සම්මානය” සඳහා තෝරාගෙන තිබෙනවා.
පාරිසරික නොබෙල් ත්‍යාගය හා සමානව සැලකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන “බ්ලූ ප්ලැනට් සම්මානයට” ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම විසින් අනුග්‍රහය දක්වනු ලබනවා.
ඒ අනුව 2021 වර්ෂය සඳහා සම්මානලාභීන් දෙදෙනෙකු තෝරාගෙන ඇති අතර එම ත්‍යාගය මේ වසරේ දී පිරිනැමෙනුයේ 30 වන වරටයි.
ශ්‍රී ලංකාවේ මහාචාර්ය මොහාන් මුනසිංහ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය වී. රාමනාදන් එලෙස සම්මානලාභීන් ලෙස තෝරාගෙන ඇත. ගෝලීය පාරිසරික ගැටලු විසඳීම සඳහා සිදු කර ඇති විශිෂ්ට සේවය අගයමින් මෙම සම්මානය මේ විද්‍යාඥ දෙපළට ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහාචාර්ය මුණසිංහ විසින් හඳුන්වා දී ඇති අද්විතීය සංකල්ප ලෙස සැලකෙන ඒකාබද්ධ සහ විෂයාන්තර ‘තිරසරාර්ථික’ රාමුව (‘Sustainomics’ framework), පරිසරය, ආර්ථිකය හා සමාජය යන ත්‍රිවිධ අංශ මත පදනම් වූ තිරසාර සංවර්ධන ත්‍රිකෝණය (sustainable development triangle), ‘සමතුලිත හරිත අන්තර්ග්‍රාහී සංවර්ධනය (BIGG – balanced inclusive green growth)’ සහ ‘සහස්‍ර පරිභෝජන ඉලක්ක (MCGs) වැනි නව්‍ය සංකල්ප අගයමින් මෙම සම්මානය පිරිනැමේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්-රාජ්‍ය කමිටුවේ (අයිපීසීසී) උප සභාපති ලෙස ඔහු 2007 දී නොබෙල් සාම ත්‍යාගය බෙදා ගත්තේය. එවන් ජයග්‍රහණයක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහුය. ඔහුගේ පර්යේෂණ සහ සංකල්ප පරිසරය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ගෝලීය ගිවිසුම් කිහිපයකට දායක වී තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්ය මුණසිංහ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්‍ෂණ ආයතනයෙන් (MIT) විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ SM සහ වෘත්තීය EE උපාධි ද, කැනඩාවේ මැක්ගිල් විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද, කැනඩාවේ කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන සිටී. මීට අමතරව මහාචාර්ය මුනසිංහ හට සම්මාන ආචාර්ය උපාධි කිහිපයක් ද ප්‍රදානය කෙරී ඇත. ශාස්ත්‍රීය ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක කතුවරයා වන ඔහු පිළිගත් විද්‍යා සඟරාවල තාක්‍ෂණික නිබන්ධ හාරසියයකට අධික සංඛ්‍යාවක් පළ කර තිබේ. එමෙන්ම, මහාචාර්ය මුණසිංහ ප්‍රමුඛ පෙළේ ගෝලීය විද්‍යා ඇකඩමි කිහිපයකම සාමාජිකයෙකි.