මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ – පොදුජන පෙරමුණේ මන්ත්‍රී සාගර කාරියවසම් (VIDEO)

June 16, 2021 at 8:28 PM

මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඔහු අද (16) පක්ෂ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේ.

තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තම අත්සනින් යුතුව නිකුත් කළ ලිපියේ මතය සමග තමාත් පක්ෂයත් තවදුරටත් සිටින බවද ඔහු මෙහිදී පැවසුවේ..

“රහස් සාකච්ඡා නෑ. අපි කරන දේවල් ඔක්කොම එළිපිට. මේ රටේ ජනතාව බිහිකරපු ජනතාවගේ පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ. අපි ජනතාව වෙනුවෙන් ගන්න ඕන තීරණ සියල්ල ගන්නවා. නිර්භයව ප්‍රකාශ කරනවා. ඉදිරියටත් එහෙම්මම තමයි. ඒ නිකුත් කරපු ලිපිය සම්බන්ධයෙන් ඒ මතයේ මම අදටත් ඉන්නවා, පක්ෂයත් ඉන්නවා.”

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඉකුත් 12 වනදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.