අධිවේගී මාර්ගයක් සහ ගුවන් පාලම් 05ක වැඩ අරඹයි

June 7, 2021 at 1:45 PM

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන අධිවේග මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සහ නව ගුවන් පාලම් 5ක ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට ආරම්භ කෙරුණා.

දිවයිනේ ප්‍රධාන නගර සහ උප නගරවල පවතින අධික වාහන තදබදය අවසන් කිරීම සඳහා ගුවන් පාලම් ඉදිකිරීමට රජය තීරණය කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේ.

මේ යටතේ කොහුවල මංසන්ධිය, ගැටඹේ මංසන්ධිය, කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවත දක්වා, උත්තරානන්ද මාවත මෙන්ම එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක්ද ඉදිකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත සම්බන්ධ කරමින් නව ගුවන් පාලමක් ඉදි කෙරේ. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මත අධිවේගී මාර්ගයක්ද ඉදි කිරීමට නියමිතය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට කොළඹ දෙසට පැමිණෙන වාහන අතරමග නගරවලදී අධික තදබදයකට මුහුණ දීම අවම කිරීම සඳහා කිලෝ මීටර 16.4 කින් යුත් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මතින් අධිවේගී මාර්ගයක්ද ඉදි කෙරේ. මංතීරු හතරකින් යුත් මෙම මාර්ගය චයිනාහාබර් ඉංජිනේරු සමාගම ඉදි කරයි. වැය කරන මුදල රුපියල් බිලියන 134.9 කි. වසර තුනකින් ඉදිකිරීම් අවසන් කෙරේ.

යෝජිත ගුවන් පාලම් ඉදිකිරීම සඳහා මිලියන 20,000 ක් පමණ වැය වෙයි.