ගංවතුරට කොටුවූ කොවිඩ් ආසාදිතයින් මුදා ගත් යුද හමුදා මෙහෙයුම

June 6, 2021 at 1:41 PM

අයහපත් කාලගුණය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගලා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් රෝහල් ගත කිරීමට නොහැකිව කොටුවී සිටි අත්තනගල්ල කැටකාලපිටිය ප්‍රදේශයේ පවුල් දෙකක කොවිඩ් ආසාධිත සාමාජිකයින් ආරක්ෂිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරවීමට ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ 6 වැනි කාලතුවක්කු හමුදාවේ භට පිරිස් කටයුතු කරනු ලැබුවා.

මෙම පවුල් දෙකේ සාමාජිකයන් සිව්දෙනෙකු COVID -19 ආසාධිතව සිටි අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟින් යුද්ධ හමුදා භටපිරිස් කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව ආදාළ පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් කරා යොමු කර ඇත.

එසේම ගංවතුර තත්ත්වය නිසා සිරවී සිටි තවත් පවුල් පහක සාමාජිකයින් යුද්ධ හමුදා භටපිරිස් විසින් බේරාගෙන ප්‍රදේශයේ රජයේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ආරක්ෂිත ස්ථානවලට යොමුකළ බවයි යුද හමුදාව සඳහන් කළේ.

මෙම මුදාගැනීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම් සිදුකරන අවස්ථාවට මීරිගම දිස්ත්‍රික් ලේකම්වරයා සහ එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාද සහභාගී විය.