කොළඹ පිටත වරායේ නෞකාවක ගින්නක් : ගින්න ඇතිවීමට හේතුව රසායන ද්‍රව්‍ය කාන්දුවක් (PHOTOS)

May 21, 2021 at 8:37 AM

කොළඹ පිටත වරායේ නැංගුරම්ලා ඇති MV X -Press Peral නම් නෞකාවේ ගින්නක් හට ගෙන තිබෙනවා. මේ වන විට නාවික හමුදාව සහ වරාය අධිකාරිය විසින් නෞකාවේ ඇතිවූ ගින්න මැඩ පවත්වමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කර සිටින්නේ.

මෙම නෞකව ඉන්දියාවේ ගුජරාට් හි සිට කොළඹ වරායට බහාලුම් ප්‍රවාහනය කරනු ලබන නෞකාවක් බවත් එහි රසායන ද්‍රව්‍ය ගබඩා කර ඇති බවයි නාවික හමුදා කපිතාන්වරයා සඳහන් කර සිටියේ.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ  රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කර ඇති අතර, නෞකාව 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණ වරාය වෙත ඇතුළු වීම සඳහා නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මෙම ගින්න හටගෙන ඇත. නෞකාවේ කාර්ය මණ්ඩලය පිලිපීන, චීන, ඉන්දීයනු සහ රුසියානු ජාතිකයින් 25ක ගෙන් සමන්විත වේ.

එහි ගබඩා කර ඇති රසායන ද්‍රව්‍යවල යම් කාන්දුවීමක් සිදුව ඇති අතර වැසි ජලයත් සමග එක්වී සිදුවූ ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඊයේ සවස සිට නෞකාවේ ඉදිරිපස කොටසේ ධුමාරයක් ඇතිවෙමින් තිබු බවට නිරීක්ෂණය කළ බවත් අද උදෑසන සිට එහි ගින්නක් හට ගැනීමත් සමග මේ වන විට එය මැඩපැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නාවික හමුදාවේ නෞකාවක්, ඩෝරා යාත්‍රා 02ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා දෙකක් ගින්න ඇතිවූ නෞකාව අසල ස්ථානගත කර තිබු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.