වරාය නගරයේ ප්‍රථම ආයෝජනය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානමින් – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වෙයි

May 17, 2021 at 1:55 PM

ඇමරිකානු ඩොලර් බිලියන 100 ක ආයෝජනයකින් යුතු කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

2025 වසරේදී අවසන් කිරීමට නියමිත මෙම ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා වූ පළමු අදියර අන්තර්ජාතික A ශ්‍රේණියේ මහල් සමූහයකින් යුතු නවීන කාර්යාල කුළුණකින්ද, උසස් ස්තරයේ නිවාස කුළුණු දෙකකින්ද සිල්ලර වෙළඳ පීඨීකාවකින්ද සමන්විතවනු ඇත. දෙවන අදියර ද අන්තර්ජාතික A ශ්‍රේණියේ මහල් සමූහයකින් යුතු නවීන කාර්යාල කුළුණකින්ද , සිල්ලර වෙළඳ පීඨීකාවකින්ද යුක්තය.

සේවා නියුක්තිකයන් බඳවා ගැනීමේදී, නිපුණතා නොමැති කම්කරුවන් සහ ඉහළ තරාතිරමේ සේවකයන් යන කාණ්ඩ සඳහා දේශීය වශයෙන් 75% ක අවස්ථාවක් සහ නිපුණතා සහිත කම්කරුවන් සඳහා දේශීය වශයෙන් 65%ක අවස්ථාවක් ලබා දීමට මෙම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත මඟින් නියමයන් ඉදිරිපත් කර ඇත.

දේශීය වශයෙන් කෙසේ වෙතත් බදු සහන රාශියක් ලබාදෙන මෙබඳු ව්‍යාපෘති අනිවාර්යෙන්ම රටේ සමස්ත ආර්ථිකයට ඍජු දායකත්වයක් දැක්විය යුතු බව ආයෝජන මණ්ඩලය වෙත අවධාරණය කර සිටි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඒ සඳහා සිය අනුමැතිය ලබාදුන්නේය.

මීට අමතරව හම්බන්තොට ජාත්‍යන්තර වරාය අභ්‍යන්තරය මෙම ජූලි මාසයේදී ආරම්භ කිරීමට නියමිත සිලෝන් ටයර් මැනුෆැක්චරින් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් නම් අපනයන තත්ත්වයේ ට‍යර් නිෂ්පාදන කම්හල් ව්‍යාපෘතිය සඳහා ද අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිය අනුමැතිය ලබාදී තිබුණා.

මෙම ව්‍යාපෘතිය මාස 36 ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉන් පසු සිය වාණිජ මෙහෙයුම් ඇරඹිය යුතුය. මෙම ව්‍යාපෘතිය දීර්ඝකාලීනව අතිවිශාල බදු සහන ලබන ව්‍යාපෘතියක් වුවද එහි ප්‍රතිලාභ බිම් මටිටමේ සිටින දේශීය රබර් වගාකරුවන් වෙත ගලායාමට නියමිත බව ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය සංජය මොහොට්ටාල මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ක්‍රමානුකුලව මෙරට රබර් නිෂ්පාදනය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් විමසා සිටියා. මෙරට දේශීය නිෂ්පාදනය සඳහා එහි වෙනත් රටවලට සාපේක්ෂව එහි වැඩි මිල සම්බන්ධව මෙහිදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සිය අවධානයට ලක් කළ අතර අමාත්‍ය විදුර වික්‍රමනායක ද පවසා සිටියේ විදෙස් සමාගම් සඳහා ලැබෙන බදු සහන මෙරට කර්මාන්තකරුවන් වෙතද ගලා යායුතු බවයි.