මහරගම, පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි තොග කඩයක සිටි 17 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. වෙළෙඳ සැලේ සිටි 46 දෙනකුට සිදුකළ PCR පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.
පසුගිය අවුරුදු සමයේ මහරගම පමුණුව රෙදිපිළි මිලදී ගැනීම සඳහා අධික ජනතාවක් රැස්ව සිටියා. මෙම වෙළදසැලේ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණ මගින් සෙසු ආසාදිතයින් 16 දෙනා හඳුනා ගෙන ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කලේ.
මේ අතර කොළඹ කොටුව ප්‍රදේශයේ රජයේ බැංකුවක නිලධාරීන් 300කට පමණ කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඉන් 35 කට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඉන් 18 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගෙන ඇත.
කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කලේ අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සහ අහඹු PCR පරීක්ෂණ 600කට ආසන්න පිරිසක් සිදුකිරීමට නියමිත බවයි.
මේ අතර කටුපොත සහ නාරම්මල රාජ්‍ය බැංකු දෙකක නිලධාරීන් විස්සකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා ඊයේ සිට එම බැංකු දෙක වසා ඇති බවද වාර්තා වනවා.