කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

April 15, 2021 at 4:23 PM

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විශේෂ පෙත්සම් ගොනු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි දේශපාලන මණ්ඩල සභික හා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී.කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

මෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිනවා.

එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත කල යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බව පෙත්සම් වල සදහන් වේ.