පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මුල්‍ය වංචාවක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

March 30, 2021 at 2:40 PM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජේෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වි තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා තිබූණු ස්ථාවර තැන්පතු 14ක් 2009 ජනවාරි 01 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ අවසන් කර, ලබා ගත් රුපියල් මිලියන 93 (රුපියල් 93,287,025) ක මුදලින්, රුපියල් මිලියන 37ක් (රුපියල් 37,948,865) ක් පමණක් නව ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර රුපියල් මිලියන 50 (රුපියල් 50,338,160) ක මුදලක් ජේෂ්ඨ සහකාර මුල්‍යාධිකාරිවරයා විසින් වංචා සහගත ලෙස පෞද්ගලිකව මුදලින් ලබාගෙන මුල්‍ය වංචාවක් සිදු කොට තිබේ.

මෙම මුල්‍ය වංචාව සම්බන්ධ නිලධාරිවරයාගේ වැඩ තහනම් කොට ඇති අතර මේ පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් සිදු කෙරෙමින් පවතී.

විශ්ව විද්‍යාලය තුළ මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා පේරාදෙණිය විශ්ව විද්යෙලයේ පාලක සභාව මගින් විනය පරික්ෂණයක්ද සිදු කරමින් පවතින අතර අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ද අධිභාර පැනවීමක් සිදු කරන බවද පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී තවදුරටත් අනාවරණය විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ 2018 සහ 2019 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළබඳ විමර්ශනය කිරීම සදහා මෙම කෝප් රැස්වීම කැදවා තිබුණා.

එයට අමතරව, පේරාදෙණිය විශ්ව විද්යාලයේ විද්යස පීඨයේ පුස්තකාලාධිපතිවරයා වෙත පශ්චාත් උපාධි ආයතනයේ සේවය කිරීම කිරීම වෙනුවෙන් අදාල මාසික වේතනයට අමතරව 10% ක දීමනාවක් පශ්චාත් විද්‍යා උපාධි ආයතනය මගින් අදාල අනුමැතියකින් තොරව ගෙවීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවධානය යොමු විය.

පේරාදෙණිය විශ්ව විද්යිලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරුන් සඳහා සැතපුම් කුලී හා ගමන් වියදම් ගෙවීමේදී අදාළ චක්‍රලේඛ විධිවිධානවලට අනුව කටයුතු කර තිබේද යන්න පිළිබඳවද කෝප් කමිටුව මෙහිදී නිලධාරීන්ගෙන් විමසා සිටියා.

භාණ්ඩාගාරයේ නිසි අනුමැතියකින් තොරව පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ කළමණාකරණ මණ්ඩලයේ අනුමැතිය පමණක් ලබාගෙන ආයතනයේ සමායෝජක දීමනා සහ ගෞරව දීමනා ගෙවීම සම්බන්ධව ද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරුණා.

එවකට යෝජිත බදුල්ල-මහනුවර අධිවේගී මාර්ගය තැනීමේදී පශ්චාත් විද්‍යා උපාධි ආයතනයට සිදු වන පාරිසරික බලපෑම පිළිබඳ ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් රුපියල් 6,386,200ක මුදලක් අදාල ව්‍යාපෘතිය වෙත ගෙවා ඇතත් එම වාර්තාව ඉදිරිපත් කර නොතිබීම සම්බන්ධව මෙහිදී කෝප් කමිටුව කරුණු විමසා සිටියා.

ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘති 04ක ගිවිසුම් කාලය තුළ පර්යේෂණ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වීම සහ මිලියන 36 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 07ක් භෞතික ප්‍රගතිය පිළිබඳ වාර්තා හෝ අවසන් ප්‍රගති වාර්තා ඉදිරිපත් නොකොට අතරමග නැවතී තිබීමට හේතු කවරේද යන්න පිළිබඳව කෝප් කමිටුව සිය අවධානය යොමු කළේය. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ ඒම අවශ්යසතාවන් මේ වන විට සම්පූර්ණ කොට ඇති බවයි.

විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පර්යේෂණ හා ශිෂ්‍යත්ව පහසුකම් ලබාදීම සඳහා ආරම්භ කර ඇති පර්යේෂණ හා ශිෂ්‍යත්ව අරමුදලෙන් 2019 වර්ෂය තුළදී කිසිදු වියදමක් දරා නොතිබූ අතර වර්ෂය අවසන් වන විට ඒම මුදලේ රුපියල් 8,038,458ක ශේෂ වීම පිළිබඳවද කෝප් කමිටුව සිය අවධානය යොමු කරනු ලැබුවා.

මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ අධ්‍යක්ෂකවරයා පැවසූයේ මේ වන විට සුදුසු ශිෂ්‍යත්වලාභීන් තෝරාගෙන 12 දෙනෙක් සඳහා ශිෂ්‍යත්ව ලබා දී ඇති බවයි.

මෙම පශ්චාත් උපාධි ආයතනවල විගණන කටයුතු සඳහා විශ්ව විද්යාවලයේ අභ්‍යන්තර විගණන අංශය මත රඳා පවතිනවාට වඩා වෙනම ම අභ්‍යන්තර විගණකවරයෙක් පත් කර ගැනීම යෝග්‍ය බවට කෝප් කමිටුව නිර්දේශ කර සිටියා.

එයට අමතරව රටපුරා පවතින පශ්චාත් උපාධි ආයතන 09 ම පරිපාලන කටයුතු සම්බන්ධව උපකමිටුවක් පත්කොට ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් මාස 06ක් ඇතුලත ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උප‍දෙස් ලබා දුන්නා.