නේවි රුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

March 23, 2021 at 5:38 PM

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රසික රුවන් කුමාර විජේතුංග හෙවත් නේවි රුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දැක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු වැලිසර ළය රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා සපුගස්කන්ද පොලිසියට අනුයුක්තව වැලිසර ළය රෝහලේ පොලිස් මුරපලේ රාජකාරියේ නිරත අයෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වෙනත් පාර්ශවයකට ලබාදීම සඳහා රැගෙන විත් තිබූ හෙරොයින් ග්‍රෑම් 107 යි මිලිග්‍රෑම් 290 ක් සොයාගෙන තිබුණා.

පසුව මුල්ලේරියාව – ජයන්ති මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 286 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

සොයාගත් මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 40 කට ආසන්න බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.