වැලිකඩදී මාරක රිය අනතුරක් : පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් ජිවිතක්ෂයට

March 23, 2021 at 7:50 AM

අද අලුයම 4.30 ට පමණ වැලිකඩ පොලිස් වසමේ ආයුර්වේද වටරවුම සහ ගුවන් පාලම අතර ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුරකින් උප පොලිස් පරික්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට අයත් වාහනයක් අද අලුයම් කාලයේදී වාහන පරික්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටිමින් සිටින අවස්ථාවේදී බත්තරමුල්ල දෙස සිට වේගයෙන් පැමිණි වෑන් රථයක් පොලිස් හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන් සහ ඔවුන් පරික්ෂා කිරීමේ යෙදී සිටි ඩිමෝ බට්ටා වර්ගයේ වෑන් රථය අනතුරට ලක් කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සිදුවීමෙන් පොලිස් ඇමතුම් අංශයේ කණ්ඩායම භාරව සිටි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා සහ පරික්ෂා කිරීම් වලට ලක් කරමින් සිටි ඩිමෝ බට්ටා ලොර රථයේ සහයකයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ වෑන් රථයේ රියදුරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විමර්ශන සිදුකරනු ලබන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මේ අතර ගතවූ පැය 24 තුලදී මාරක රිය අනතුරු 09ක් සිදුව ඇති බව පැවසූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දිනෙන් දින මාරක රිය අනතුරු වාර්තාවීමේ අගය ඉහළ යමින් තිබෙන බව ද සඳහන් කළා.