සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් කොවිඩ් ආසාදිතයින් 474ක් හමුවෙයි

March 21, 2021 at 2:20 PM

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින් 1200 දෙනෙකුගේ සිදුකළ PCR පරීක්ෂණ වලින් ආසාදිතයින් 474 දෙනෙකු හමුව ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ඉන්ධන පිරිපහදුවේ වසර 03 කට වරක් සිදුකරනු ලබන නඩත්තු කිරීමේ කටයුතු සඳහා බඳවා ගනු ලැබූ තාවකාලික සේවකයින් 400 දෙනෙකු පසුගියදා බඳවා ගෙන ඇති බවත් එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදුන් උපදෙස් හරිහැටි ක්‍රියාත්මක නොවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මෙලෙස බඳවා ගනු ලැබූ තාවකාලික සේවකයින් දින 14ක කාලයක් නිරෝධායනය නොකර ඇන්ටිජන් පරීක්ෂණ පමණක් සිදුකර සේවයට යොදවා ඇති බවත් එහිදී තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිසි ලෙස දැනුම් දීමක් සිදුකර නොමැති බවයි උපුල් රෝහණ මහතා කියා සිටියේ.

පසුව පිරිපහදුවේ සේවය කරනු ලබන සේවකයින්ගේ දැනුම් දීමක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉන්ධන පිරිහදුවේ සේවකයින් පිරිසකගේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් සේවකයින් 20 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර පසුව එහි සිටි සේවකයින් 1200 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

එහිදී මේ දක්වා ලැබී ඇති පරීක්ෂණ ප්‍රථිපල අනුව සේවකයින් 474 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවත් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත උපදෙස් ලබාදී ඇති බවයි ඔහු සඳහන් කලේ.

මේ වන විට ඉන්ධන පිරිපහදුවේ සේවය සඳහා ආසාදිතයින් ලෙස වාර්තා නොවූ සේවකයින් 200 දෙනෙකු යොදවා ඇති බවත් ඔවුන්ට නිවෙස් වෙත යාම තහනම් කර ඇති බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටියා.