අර්ජුන මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ ගෙන්වා ගැනීමට සිංගප්පුරුවේ නීතිපතිවරයාට කරුණු පැහැදිලි කරයි

March 18, 2021 at 3:02 PM

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තෙවැනි වරටත් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම් යොමුකර තිබෙන බව නීතිපතිවරයා අද (18) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.

ඒ, එම නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබු අවස්ථාවේදී.

පළමු මහ බැංකු බැඳුම්කර වංචාවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උදර්පනය කර ගැනීම සඳහා මෙරට නීතිපතිවරයා විසින් තෙවැනි වරටත් යවන ලද ලේඛන හා පැහැදිලි කිරීම් සිංගප්පූරු නීතිපතිවරයා විසින් සලකා බලමින් පවතින බවට වාර්තා වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අද කොළඹ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

නඩුවේ 10 වැනි විත්තිකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අජහාන් ගාර්දිය පුංචිහේවා අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හා මැලෙසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මැලේසියා රජයේ බලධාරීන් වෙත සිතාසි යැවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කළ අධිචෝදනා පත්‍රයට තවත් එක් අධිචෝදනාවක් එක් කර සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අද අධිකරණයට දැනුම් දුන්නා.