පෞද්ගලික අංශයට කොවිඩ් එන්නත ගෙන්වන්න අවසර දෙන්න – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි

March 18, 2021 at 10:09 AM

පෞද්ගලික අංශයට ද කොවිඩ් එන්නත් ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

කර්මාන්තශාලා ආශ්‍රිතව වැඩි ආසාදිත ප්‍රමාණයක් වර්ධනය වී තිබෙන නිසා ඊළඟට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව හිමි විය යුත්තේ එම පිරිස් බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව එම අවශ්‍යතාව සපුරාගැනීම සඳහා රජයට මේ මොහොතේ ඉඩකඩ නැත්නම් එන්නත් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය අනුමැතිය ලබා දිම සිදුකළ හැකි බවයි උපුල් රෝහණ පෙන්වාදෙන්නේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබාගන්නා පදනම මත පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබාදීමේ ගැටලුවක් නැති බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ වන විට රජය විසින් සිදුකරමින් පවතින එන්නතකරණ වැඩපිළිවෙලට අදාළව ඊයේ දිනය අවසන් වන විට 806449 දෙනෙකුට කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්.