ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බලධාරියකු පත් කිරීමේ අවශ්‍යතාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෙන්දේසි කිරීමට හේතුව සහ ණයකරුවාගේ මූල්‍ය ඉතිහාසය පිළිබඳ සොයා බැලීම අත්‍යාවශ්‍ය බවයි.
අදාළ බලධාරියාගේ අනුමැතියකින් තොරව දේපොළ වෙන්දේසි කිරීමට නොහැකි වන පරිදි පවතින අණපනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේ කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (15) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකට එක්වෙමිනි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි දී කියා සිටියේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත් කර්මාන්ත වෙනුවෙන් රජය විවිධ සහන ලබා දීමට කටයුතු කළ ද ඇතැම් කර්මාන්තකරුවන් ඔවුන්ගේ ක්ෂේත්‍රයන්ට ම සුවිශේෂී වූ හේතූන් මත බැංකු ණය ගෙවා ගැනීමේ අපහසුතාවන්ට පත්ව ඇති බවයි. ඔවුන් වෙනුවෙන් යම් සුවිශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ පීඩාවට පත් සියලු කර්මාන්ත වෙත පොදුවේ රජය මගින් ලබා දුන් සහනවලට අමතරව ¬මෙම සුවිශේෂී ගැටලුවට මුහුණ පා ඇති පාර්ශවයන් පිළිබඳ සලකා බැලිය යුතු බවයි. එක් එක් කර්මාන්තවල අමුද්‍රව්‍ය ලබා ගැනීම, නිෂ්පාදනය සහ අලෙවියට බලපානු ලබන තත්ත්වයන් එකිනෙකට වෙනස් වන බැවින් මෙවැනි අවස්ථාවක ඔවුන්ට සහන සැලසීමේ දී ඒ ඒ ක්ෂේත්‍ර වෙත වෙන වෙනම අවධානය යොමු කරන ලෙස ද අග්‍රාමාත්‍යතුමා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
ණය ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් ඇතැම් කර්මාන්ත සතු දේපළ බැංකු මගින් වෙන්දේසි කිරීමට සූදානම් වන බව මෙම අවස්ථාවේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පෙන්වා දුන්නා. ඔවුන් මෙම ගැටලුවට මුහුණ දී ඇත්තේ රට තුළ මතු වූ ගැටලුකාරී තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එම කර්මාන්ත යළි ආරම්භ කිරීම වෙනුවෙන් සහය ලබා දීම රජය සතු වගකීමක් බවයි.
බැංකු මගින් දේපොළ වෙන්දේසි කිරීමේ ක්‍රමවේදය යම් සංශෝධනයකට ලක් කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියා.
බැංකු සහ ණයකරුවන් යන දෙපාර්ශවය වෙනුවට මෙවැනි අවස්ථාවක මැදිහත්වීමක් කළ හැකි තුන් වැනි පාර්ශවයක අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. එවැනි අවස්ථාවකට මැදිහත්වීම සඳහා නිසි බලතල සහිත ඔම්බුඩ්ස්මන්වරයකුගේ අවශ්‍යතාව අවධාරණය කළ අගමැතිවරයා ඒ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරන ලෙස ද බලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.
එසේම දේපොළ ඇපයට තබා ගෙන ණය නිකුත් කිරීමේ දී ණය ලබා ගන්නා පාර්ශවය විසින් ඇප ලෙස තබන්නේ ඔවුන් පදිංචි නිවස දැයි සොයා බැලිය යුතු බව අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා. කිසියම් හේතුවක් මත අදාළ නිවස වෙන්දේසි කිරීමට සිදු වුව හොත් බැංකුව සිය ගනුදෙනුව අවසන් කළ ද රටට තවත් නිවාස නොමැති පවුලක් ඉතිරි වන බවයි අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ. එබැවින් සිය එක ම නිවස ඇපයට තබා ණය ලබා ගත හැකි ක්‍රමවේදය යම් සංශෝධනයකට ලක් කිරීමේ හැකියාව සොයා බලන ලෙස අගමැතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.