කොවිඩ් ආසාදිතයින් 51ක් වාර්තා වීමත් සමග මොරවක නගරයේ වෙළෙදසැල් දින 03කට වසා දැමේ

March 14, 2021 at 12:50 PM

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් දින 03 ක කාලයක් සඳහා තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබෙනවා. ඒ නගරයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැනීමත් සමගයි.

එමෙන්ම මොරවක සතිපොළ ද යළි දැනුම්දෙන තුරු නොපැවැත්වීමට පිටබැද්දර ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙනවා.

පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 293 කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවක පිරිසක් මෙම ආසාදිතයින් වන බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

මේ අතර වව්නියාවේ පිහිටි ප්‍රධාන පෙලේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 21 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

කටුනායක නිදහස් වෙළෙඳ කාලාපයෙන් ද තවත් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය දින 03 තුළ පමණක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් ආසාදිතයින් 100 දෙනෙකු හඳුනාගෙන ඇති බ‍ව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.