වෛරස විනාශ කරන ශ්‍රී ලංකාවේ විශේෂඥයින් නිපදවු නව මුහුණු ආවරණයක් අගමැතිට පිළිගන්වයි

February 25, 2021 at 5:18 PM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා ඇති කොවිඩ් 19 ඇතුළු වෛරස විනාශ කරන නවතම මුහුණු අ‍ාවරණයක් අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබෙනවා.

මේවන විට ලොව භාවිතා වන සියලු මුහුණු ආවරණවලට වඩා ඉතා ඉහළ තාක්ෂණයකින් යුතු මෙම මුහුණු ආවරණය ස්ථර තුනකින් නිර්මාණය කර ඇති බව මේ පිළිබද පර්යේෂණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද ජේෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මෙය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වමින් ප්‍රකාශ කර සිටියා.

එම මුඛ ආවරණයේ පළමු ස්ථරයෙන් කෙළ බිදිති වැනි ද්‍රව්‍ය දෑ ක්ෂණිකව ඉවත්කිරීම සිදුවන බවත් දෙවැනි ස්ථරයේ ඇති විශේෂිත රසායනික ද්‍රව්‍යයක්මගින් යම් ආකාරයකින් හෝ පැමිණෙන වෛරස විනාශ කරන බවත් තෙවැනි ස්ථරයෙන් පැමිණෙන කෙළ බිදිති වැනි දේ වාෂ්පකිරීම සිදුකරන බවත් මහාචාර්යවරයා පැවසුවා.

එසේම විසිපස් වතාවක් මෙම මුහුණු ආවරණය නැවත නැවත සෝදා භාවිතා කළ හැකිවීමද විශේෂත්වයක් බව ඔහු පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ විශේෂ වෛද්යද චමින්ද හේරත් ප්‍රකාශ කර සිටියේ මෙම මුහුණු ආවරණය දැනට භාවිතාවන KN 95 මුහුණු ආවරණයට වඩා ඉහළ සුරක්ෂිත බවකින් යුතු බව පර්යේෂණාත්මකව සනාථ වී ඇති බවයි.

පේරාදෙණිය විශ්ව විද්යාාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨ‍යේ සිදු කරන ලද පර්යේෂණවලට අනුව මෙම මුහුණු ආවරණයේ රැදෙන වෛරස 99%ක් විනාශ වන බව තහවුරුවී ඇති බවද වෛද්‍ය චමින්ද හේරත් ප්‍රකාශ කර සිටියා.

සාමාන්‍ය මුහුණු ආවරණයක රැදෙන වෛරස දින 7ක් පමණ පැවතුනද මෙම මුහුණු ආවරණය මගින් ඒවා ඉතා කෙටි කලක් තුළ විනාශයට පත් කිරීම සුවිශේෂි කරුණක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙම නවීන තාක්ෂණයෙන් යුතු මුහුණු ආවරණය මේවන විට වෙළද කටයුතු අමාත්‍යාංශය මැදිහත්වීමෙන් දේශීය වෙළදපොළ සදහා නිෂ්පාදනය කිරීම සිදු කරන බවත් ඉදිරියේදී අපනයනය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.