ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා : සීලරත්න හිමියන්ගේ නම ලැයිස්තුවෙන් ගිලිහිනු ලකුණු

February 25, 2021 at 5:01 PM

මැයි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂක ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.

කේ. මතිවානන්, බන්දුල වර්ණපුර, නිශාන්ත රණතුංග යන මුල් පෙලේ අපේක්ෂකයින් ඊයේ දිනයේදී සිය නාම යෝජනා භාර දෙනු ලැබුවා. කේ. මතිවානන් ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරටත්, නිශාන්ත රණතුංග ලේකම් තනතුරටත්, උප සභාපති තනතුර සඳහා බන්දුල වර්ණපුර තරග කිරීම සඳහා ඉදිරිපත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුර සදහා වත්මන් සභාපති ෂම්මි සිල්වා නාමයෝජනා භාර දුන්නා. එම පාර්ශවයෙන් උප සභාපති තනතුරු දෙක සදහා නාමයෝජනා භාර දුන්නේ ක්‍රිකට් ආයතනයේ වත්මන් උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාසයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නාමයෝජනා ලැයිස්තුව අනුව ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උප සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ගේ නාම යෝජනාව ඇතුලත්වී නැහැ.

උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් හරහා සීලරත්න හිමියන් සිය ශ්‍රී ලංකා ආයතනයේ නිලවරණය සඳහා ඊයේ සිය නාම යෝජනා භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාවලට විරෝධතා බාර ගැනීම ලබන මාර්තු මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, එම විරෝධතා පිළිබඳ නිලවරණ කමිටුව විසින් ගනු ලබන තීරණ මාර්තු මස 15 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අනතුරුව ක්‍රිකට් නිලවරණය සඳහා අවසන් නාමලේඛනය අප්‍රේල් මස 20 වැනිදා නිවේදනය කරනු ඇත.