ත්‍යාගයක් පෙන්වා අන්තර්ජාලය හරහා පුද්ගලයෙකු ගෙන් ලක්ෂ ගණනක් මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට

February 24, 2021 at 9:43 AM

අන්තර්ජාලය හරහා සිදුකර ඇති ගනුදෙනුවකදී රුපියල් 17 ලක්ෂ 45,000ක මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.

ඒ පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අනුවයි .

යම් ත්‍යාගයක් ලැබී ඇති බව පවසමින් ඒ සඳහා මෙම මුදල තැන්පත්කරන ලෙස පවසා අදාළ වංචාව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඒ සම්බන්ධව සිදුකරන විමර්ශනවලදී විවිධ සිම් කාඩ්පත් භාවිත කරමින් සංවිධානාත්මක කල්ලියක් මෙහෙයවන මෙම වංචාව පිළිබඳව අනාවරණය වී තිබුණා.

ඒ අනුව නයිජීරියානු ජාතිකයින් 4 දෙනෙක් කාන්තාවන් දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකික යුවලක් ඇතුළු 8 දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇත.

මේ සම්බන්ධ විමර්ශනවලදී, නයිජීරියානු ජාතිකයින් නතරවී සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක තිබී පරිගණක දෙකක් විවිධ රටවල භාවිත කරන දුරකථන සිම් කාඩ් 79ක්, ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගන්නා කඩදාසි රැසක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.

විදේශ රටවල සිට ලැබෙන ඇමතුම් බවට හඟවමින් මෙරට සිට විවිධ සිම් කාඩ් භාවිත කරමින් මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.