හිමිනමගෙන් මිලියනයක කප්පම් ගන්න හැදු ට්‍රැෆික් OIC ඇතුළු 06 දෙනා රිමාන්ඩ්

February 21, 2021 at 11:59 AM

බලපිටිය, පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති හිමියන් ගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් ගැනීමට සුදානම් වූ අහුන්ගල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු හය දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ස්ථානාධිපතිවරයා ඇතුළු හය දෙනා මාර්තු 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහෙස්ත්‍රාත් චරිත ජයම්පති හංසදේව සමරදිවාකර මහතා විසින් නියෝග කර තිබේ.

සැකකරුවන් පිරිස පසුගිය 19 වන දා බලපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24ක කාලයක් අහුන්ගල්ල පොලීසිය භාරයේ තබා ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබා දී තිබුණා. මෙසේ අත්අඩංගුවට ගත්පිරිස අතර නොර්ටන්බ්‍රිජ් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ ගාල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු ඇතුඵ හය දෙනෙකු සිටිනවා.

සැකකරුවන් පිරිස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසා 17දා රාත්‍රී විහාරාධිපති හිමියන්ගෙන් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා තිබෙනවා.

විහාරාධිපති හිමියන් අදාළ මුදල ලබා ගැනීම සඳහා බැංකුව වෙත යමින් සිටිය දී පොලීසියට ලද තොරතුරක් මත බලපිටිය, හීනටිය ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.