ඊයේ දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙකු හඳුනාගෙන තිබුණු අතර මහියංගනයෙන් ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
පවතින කොවිඩ් -19 වෛරසය හේතුවෙන් සිය ප්‍රජාව සම්බන්ධයෙන් ද බලධාරීන් අවධානය යොමු කළයුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසනවා.
ආදිවාසි නායකයා පෙන්වා දෙන්නේ මහියංගනය ප්‍රදේශයටත් කොවිඩ් ව්‍යාප්ත වී ඇති පසුබිමක බලධාරීන්ගේ නිසි අවධානය යොමු වියයුතු බවයි.
“අද දවස් පොජ්ජ මන්දුවෙනකොට මේ ගම් පොජ්ජවල්වලත් මේ කොරෝනා වසංගතය මංගච්චලා තිබෙනවා. සීයමකට කිට්ටු තැනින් මේ වෙලා පොජ්ජ මන්දුවෙනකොට කොරෝනා මන්දු වෙච්ච කණ්ඩායම් හිඳිනවා. කොළොම්පූර් ගම්පොජ්ජට වැඩිතැනින් මේ තැන විනාශ තැන මන්දුවේගෙන මංගච්චයි තව සති පොජ්ජක් මංගච්චනකොට,” යනුවෙන් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසා සිටිනවා.
ඊයේ දිනයේදී කොවිඩ් -19 නව ආසාදිතයින් 715 දෙනෙකු ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වුවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 261කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 142ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 61ක් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 43ක්, ගාල්ල 24ක්, අම්පාර 05ක්, මාතර 07ක්, නුවරඑළිය 02ක්, හම්බන්තොට 11ක්, කුරුණෑගල 53ක්, පොළොන්නරුව 14ක්, මාතලේ 06ක්, මඩකලපුව 02, රත්නපුර 23ක්, අනුරාධපුර 08, මොණරාගල 07ක් සහ ත්‍රිකුණාමලයෙන් එක් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.