පොල් සොරකමකට 13හැවිරිදි දරුවෙකු අත් අඩංගුවට

January 9, 2021 at 12:50 PM

කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ නිවස දෙකකින් පොල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 13 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල කුඩාගල්ලමුව ප්‍රදේශයේ නිවාස දෙකකින් පොල් ගෙඩි 1070ක් මෙලෙස සොරකම් කර ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් 71,000කට අධිකයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත සිදුකළ විමර්ශනයකදී සොරාගන්නා ලද පොල් තොගයෙන් කොටසක් සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අතරින් 5 දෙනෙකු අවුරුදු 18, 21 සහ 22 යන වයස්වල පසුවන කුරුණෑගල කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

අනෙක් සැකකරු 13 වියේ පසුවන පාසල් සිසුවෙක්.