කොවිඩ් ආසාදිතයින් රැගත් බස් රථයක් වැලිකන්දේ දී අනතුරට ලක් වෙයි

December 4, 2020 at 10:31 AM

කොළඹ ප්‍රදේශයේ සිට පුනානි පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

අද උදෑසන 7.05 ට පමණ කොවිඩ් ආසාදිතයින් රැගත් මෙම බස් රථය සහ කාත්තන්කුඩි හි සිටි පොලොන්නරුව බලා ගමන් කරමින් තිබු මගී බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරෙන් බස් රථ දෙකේ රියදුරුවරුන් දෙදෙනා තුවාල ලබා ඇති අතර කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු ද සුළු තුවාල ලබා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ආරක්ෂක අංශ මැදිහත් වී බස් රථයේ සිටි කොවිඩ් ආසාදිතයින් වෙනත් බස් රථයකින් පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට අවශ්‍ය පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.