පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයාට කොවිඩ් ආසාදනය වී නැහැ

December 1, 2020 at 3:22 PM

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක නිවේදනය කර සිටිනවා.

උණ රෝගයෙන් පෙළුණු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු පසුගියදා රෝහල්ගත කළ බවත් එහිදී සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවේදී (Rapid Antigen Test) එම සාමාජිකයාට කෝවිඩ් වැළඳී නොමැති බව හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට නිවසට යවා දින 14 ක් නිරෝධායනයට ලක් කර තිබෙන බවත් මහ ලේකම්වරයා පැවසුවේ.

ඔහු සේවය කළ ස්ථානය සහ අවට පරිශ්‍රයන් සම්පූර්ණයෙන්ම විෂබීජානුහරණයට ලක් කර ඇත.

මේ අතර අහඹු ලෙස තෝරා ගන්නා කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරන්තරයෙන් PCR පරික්ෂාවට ලක් කරන අතර මේ වන විට 100 කට වැඩි පිරිසක් එම පරික්ෂාවන්ට ලක් වූ නමුත් ඔවුන් කිසිවෙකුට හෝ කෝවිඩ් රෝගය වැළඳී ඇති බවට තහවුරු වී නොමැති බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බවද මහ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ.