ශ්‍රී ලංකාවේ අපනයන සඳහා විශාල රුකුලක් ගෙන දෙන අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයෙන් ඉදිවෙන අති නවීන ටයර් කම්හල

November 24, 2020 at 12:55 PM

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන සංකීර්ණය රිජිඩ් ටයර් කෝපරේෂන් (පුද්ගලික) සමාගම ලබන ජනවාරි මාසයේදී විවෘත කිරිමට නියමිතව ඇත.

අක්කර 155ක කර්මාන්ත පරිශ්‍රය සහිත මෙය හොරණට නොදුරු වගවත්ත ආයෝජන මණ්ඩලයේ කාර්මික කළාපයේ ස්ථාපිත කොට ඇති අතර මෙහි ප්‍රධාන කොට අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නිපැයුම් කාර්යයන් සිදුකරයි.

දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් ප්‍රත්‍යක්ෂ යුරෝපිය තාක්ෂණය සහ තාක්ෂණික දැනුම එක් කොට මෙම කම්හලේ නිෂ්පාදන කටයුතු සැලසුම් කොට ඇති අතර පළමු අදියරේදී PCR, මෝටර් සයිකල්, ස්කුටර් හා ත්‍රිරෝද ටයර, ට්‍රක් සහ බස් ටයර හා Industrial ටයර් නිෂ්පාදනය කිරීමට නියමිතය.

කෙසේ වුවත් මෙම කම්හලේ වැඩි අවධානයක් යොමුවන්නේ SUV වාහන සඳහා වූ ටයර නිෂ්පාදනය කිරිම සඳහායි.

පළමු අදියර සඳහා යොදවා ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 100ක් වන අතර දෙවන අදියරයේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වේ. එය ලබන වසරේදී විදේශ සමාගමක් සමග ඒකාබද්ධ ගිවිසුමක් හරහා මිලියන 1.5 නිෂ්පාදන ධාරිතාවයකින් යුත් SUV ටයර් නිෂ්පාදනය ඇරඹීමට නියමිත වේ. ඊට අමතරව Industrial ටයර් නිෂ්පාදන ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 15000 කින් යුත් වෙනම නිෂ්පාදන අංගයක් වනවා.

මෙම නිෂ්පාදනයන් ගෙන් සීයයට 80ක් අපනයන සඳහා වේ.

තාක්ෂණ සාක්ෂරතාවයෙන් යුක්ත තාරුණ්‍යයට එතෙරදී ලබාගත යුතු තාක්ෂණික දැනුම හා පළපුරුද්ද තම උපන් දේශයේදීම ලබා ගැනීමට මෙහිදී හැකියාව ලැබේ.

ඊට අමතරව රබර් වැවිලිකරුවන් නගාලීම සඳහා යතාර්ථවාදී ක්‍රමෝපායික ක්‍රියාන්විත දියත්කොට දිරිගැන්වීම සහ තත්ත්වයෙන් උසස් රබර් කිරි නිෂ්පාදනයක් සඳහා හොද මිලක් ලබාදීමට ද මෙම ව්‍යාපෘතිය මහෝපකාරී වේ.

රිජිඩ් ටයර් ලෝක වෙළෙඳපොළට නිකුත් වීමත් සමග රටේ අපනයන ආදායම් වැඩිවෙනවා පමණක් නොව පුළුල් පරාසයකින් යුක්තව සමාජ ස්ථර ගණනාවක් හරහා එහි ආර්ථික ප්‍රතිලාභ බෙදී යනවා පමනක් නොව මෙරටට විදේශ විනිමය රැගෙන් ඒමට හැකි මාර්ගයක් වනවා.

කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ පසුගියදා එම කම්හලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූවා.