රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පිරිසෙන් 8302 දෙනෙකු රස පරික්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බවත් එම වාර්තා කඩිනම් කිරීම මගින් ඔවුන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම්කර තීරණ ගැනීමට හැකිවන බැවින් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැදවා මාස එකහමාරකට පෙර ලබාදුන් ඉලක්කය මේවන තෙක් සපුරා නොතිබීම පිළිබදව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සිය නොසතුට පල කර සිටියා.
අධිකරණ යටිතල පහසුකම් සංවර්ධන කමිටු ප්‍රධානි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා සහ බන්ධනාගාර බලධාරීන් සමග බන්ධනාගාර තදබදය අවමකර ගැනීම පිළිබදව අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ පිළිබදව සිය අදහස් දැක්වූවා.
කොවිඩ් 19 හේතුවෙන් සෞඛ්‍ය අවධානමකට ලක්ව පවතින බන්ධනාගාර පද්ධතිය තුළ සිටින බන්ධනාගාර රිමාන්ඩ් සිරකරුවන් ඉන් ආරක්ෂා කරගැනීම පිළිබදවත් බන්ධනාගාර තදබදය අවමකර ගැනීම පිළිබදවත් අවධානය යොමුකිරීමේදී රස පරික්ෂක වාර්තා කඩිනම්කර තිබුනේ නම් මේවන විට ඔවුන් නිදහස් කිරීමට හෝ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකර ගැනීමට හැකියාව තිබූ බව රාජ්‍ය ඇමතිනිය මෙහිදී සදහන් කලා. එවැනි තත්වයක් තුළදී වෛරසයේ පැතිරීම අවම කර ගැනීමට හැකියාව පවතින බව ඇමතිනිය මෙහිදී විශ්වාසය පළකලා.
බන්ධනාගාර තදබදය අවම කරගැනීම මෙන්ම වෛරසයෙන් බන්ධනාගාර ප්‍රජාව ආරක්ෂාකර ගැනීම පිළිබදව ගත හැකි උපායමාර්ග පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඇප කොන්දේසි සපුරාගත නොහැකිව බන්ධනාගාර ගතව සිටින 1990ක පමණ පිරිසක් සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදව අධිකරණ සේවා කොමිසමේ අවධානයට ලක්කර ඇප කොන්දේසි ලිහිල්කිරීමට හැකියාව පවතීද යන්න පිළිබදව සම්බන්ධීකරණය කරදෙන ලෙස ඇමතිනිය මෙහිදී යූ.ආර්.ද සිල්වා ගෙන් ඉල්ලීමක් කරන ලදි.
එමෙන්ම අධිකරණ සේවා කොමිසම හරහා මහේස්ත්‍රාත්වරුන් දැනුවත්කර බන්ධනාගාරවල සිටින රිමාන්ඩ් සිරකරුවන් හමුවී ඔවුන්ව නිදහස් කිරීමට හෝ ඔවුන් සම්බන්ධයෙන් ගතහැකි සුදුසු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබදවද අවශ්‍ය සම්බන්ධීකරණය කල හැකි බව ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මෙහිදී ඇමතිනිය වෙත දන්වා සිටින ලදි.