දික්ඔවිට වරායෙන් මුහුදු ගිය හලාවත ධිවරයෙකුටත් කොරෝනා

October 10, 2020 at 2:45 PM

හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ 28 හැවිරිදි ධීවරයෙක්ට බව සඳහන්.

මිට පෙර වාර්තා වූ කොරෝනා ආසාදිත හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ සමීප ආශ්‍රිතයෙක් බවට සැලකෙන මෙම පුද්ගලයා ඉකුත් මස 30 වෙනිදා පෙර ආසාදිතයා සමග නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා ගොස් ඇත.

පසුව ඔහු පසුගිය 08 වෙනිදා තවත් ධිවරයින් 06 දෙනෙකු සමග මසුන් මැරීම සඳහා බහුදින ධිවර යාත්‍රාවකින් මුහුදු යාමට පිටත්වී ගොස් ඇත. කෙසේ හෝ මෙම ධිවරයාගේ පෙර ආශ්‍රිතයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඔහු ගමන් ගත් ධිවර යාත්‍රාව යළි මෙරටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව ඊයේ දිනයේදී දික්ඕවිට වරායට සේන්දු වූ එම යාත්‍රාවේ සිටි මෙම ධිවරයාගේ PCR පරීක්ෂණය සිදුකොට ඇති අතර එහිදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. මේ හේතුවෙන් එම ධීවරයා සමග මසුන් මැරීමට මුහුදට ගිය සෙසු ධිවරයින් 06 දෙනා එම යාත්‍රාව තුලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත.