ඉවතලන ආහාර බුදින්න එන ලංකාවේ අලී රංචුවක් ගැන විදෙස් මාධ්‍යවල අවධානය (PHOTOS)

October 2, 2020 at 12:48 PM

මෙරට නැගෙහිර පළාතේ කසල අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයක් අසලට රැස්ව එහි එකතුවී තිබෙන කසල ආහාරයට ගන්නා වන අලින් රංචුවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක අවධානය යොමු වී තිබෙනවා.

අම්පාර, ඔලුවිල් ප්‍රදේශයට බැහැර කෙරෙන මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට පැමිණෙන වන අලින් ගේ ජායාරූප ලබා ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ ජායාරූප ශිල්පියෙකු වන ධර්මපාලන් තිලක්ෂන් විසිනි.

” සමන්තුරෙයි, කල්මුණේ, කාර්තිව්, නින්දවූර්, අට්ට්ලචෙනෙයි, අක්කරෙයිපත්තු සහ අලෙයාඩි වෙම්බු යන ප්‍රදේශවල ඒකරාශී වන අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ මෙම ස්ථානයට. මෙය කැළයට ආසන්න නිසා අලීන් ඇතුළු වන සතුන් ආහාර සොයා මෙහි පැමිණෙනවා. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඔවුන් ගේ ජිවිත විශාල හානියකට පත්වීමක් මෙයින් සිදුවන්නේ” තිලක්ෂන් පවසනවා.

මෙම ඉවතලන ආහාර ද්‍රව්‍ය අතර මුසුවී තිබෙන පොලිතින්, ලන්ච් ෂිට්, සිලි උර ආදිය ආහාරයට ගැනීමෙන් වන අලින් ඇතුළු වන සතුන් රැසක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පසුගිය කාලයේදී මියගොස් සිටි ඇතැම් වන අලීන් ගේ සිරුරූ තුලින් දිරාපත් නොවූ මෙවැනි පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව එම පරිසරවේදීන් ප්‍රකාශ කර සිටිනවා.

මෙම අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයට වන අලීන්ට පැමිණීමට නොහැකිවන ලෙස විදුලි වැටක් ඉදිකොට තිබුනත් එයද මේ වන විට සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.