සුරාබදු පනතේ සඳහන් උපරිම දඩ මුදල ඉක්මවා මත්පැන් හලක හිමිකරුවන්ගෙන් අයකර ගෙන තිබෙන රුපියල් තිස්හය ලක්ෂ පනස් දහසක මුදල එම හිමිකරුවන්ට ආපසු ලබාදෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ (09) වෙනිදා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළා.
මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එසේ නියෝග කර සිටියා.
තමන් පවත්වාගෙන ගිය මත්පැන්හලක් වැටලූ සුරාබදු නිලධාරීන් තමන්ට රුපියල් පනස් ලක්ෂයක දඩයක් නියම කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ හතළිහක් දඩ මුදලක් වශයෙන් අයකරගත් බවත් ඒ සඳහා දඩ වශයෙන් අය කරගත හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ පහක් වුවද ඔවුන් සුරාබදු පනත උල්ලංඝනය කරමින් ක්‍රියා කර ඇති බැවින් එසේ අයකර තිබෙන අමතර දඩ මුදල තමන්ට ලබාදෙන ලෙසට නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. මේරි පෙරුමාල් ඇතුළු මත්පැන්හලක හිමිකරුවන් තිදෙනකු ගොනුකර තිබූ පෙත්සමකට අනුව අභියාචනාධිකරණයෙන් එසේ නියම කෙරුණා.
පෙත්සම්කරුවන්ගේ අභියාචනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ විනිසුරු මඩුල්ල, සුරාබදු පනත යටතේ කළ වරදක් සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි උපරිම දඩ මුදල ඉක්මවා අයකරගෙන තිබෙන රුපියල් ලක්ෂ හතළිහෙන් තිස් හය ලක්ෂ පනස් දහසක මුදලක් නැවත පෙත්සම්කරුවන්ට ගෙවන ලෙසද විනිසුරු මඩුල්ල තීන්දු කළේ.