කාත් කවුරුවත් නොමැතිව අසරණව ගම්පොළ ලංගම බස්නැවතුම්පළේ දින ගණනක් රැඳී සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ අත්බෑගය සොරාගෙන ගිය අයකු ගම්පොළ පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම බෑගය පරීක්ෂා කිරීමේදී ඇය ධනවත්, වංශවත් කාන්තාවක් බවයි පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.
ඇය නමින් ගිරිකන්ද යාපා කුමාරිහාමිය. පදිංචිය පිළිබඳ විමසූ විට කෑගල්ල බෙලිගම්මන වලව්ව හා උඩුනුවර බඹරදෙණිය වලව්ව පිළිබඳ සඳහන් කර සිටියි.
තමා අවිවාහක බවත්, තම සහෝදර සහෝදරියන් සිටින වලව් පිළිබඳවත් ඇය පවසා සිටියි.
කොණ්ඩය කොටට කපා පියකරුව සිටි ඇය වයස්ගත වුවත් තමන්ගේ වැඩ තනියෙන් කර ගැනීමට තරම් ධෛර්ය සම්පන්න කාන්තාවක් වීය.
එකී කාන්තාව දින ගණනාවක සිට බස්නැවතුමේ තනිව සිටිනවා දුටු ගම්පොළ ඩිපෝවේ කළමනාකරු නවරත්න බණ්ඩාර ඇයට රැය පහන් කිරීමට වේලා සටහන් කාමරයේ ඉඩ සලස්වා දුන්නා.
ඇය පිළිබඳ දන්නා කිහිපදෙනකුද ඩිපෝවේ සිටි අතර ඔවුන් පවසන පරිදි එම ඩිපෝව ආසන්නයේ පිහිටි උසම ගොඩනැගිල්ලද ඇය සතු එකකි.
එම ගොඩනැගිල්ල ඇය ලක්ෂ 40කට විකුණා ඇති බවත්, ඇයගෙන් එය මිලදී ගත් අය පසුව එම ගොඩනැගිල්ල එක්කෝටි විසි ලක්ෂයකට වෙනත් අයකුට විකුණා ඇති බවත් තතු දත් අය පවසද්දී ඇයද එම කරුණු තහවුරු කළා.
කෙසේ නමුත් ඇය බස්නැවතුමේ සිටියදී පසුගිය 29 වැනි දින රාත්‍රියේදී කිසිවකු ඇයගේ අත්බෑගය සොරකම් කර ඇති බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
එහිදී ඇය පොලිසියට පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 8ක්, රන් මාලයක්, වළලු හයක්, කරාබු ජෝඩුවක්, බැංකු පොත් ඇතුළු වටිනා දෑ එහි තිබූ බවය.
ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් විධිමත් පරීක්ෂණයක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන කසළ ගොඩක සඟවා තිබූ ගමන් මල්ලද පොලිසිය විසින් සොයාගෙන ඇත.
එම ගමන්මල්ල පරීක්ෂා කිරීමේදී මෙම කාන්තාව සතුව රුපියල් ලක්ෂ 65ක ස්ථිර තැන්පතුවක් ඇති බවද තහවුරු වී ඇති අතර සැකකරු ළඟ තිබී රුපියල් හැත්තෑපන්දහසක් හා රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන ඇත.
ඇය සතු තවත් දේපළ රාශියක් ඇති බවද තහවුරු කරගත් පොලිසිය වහාම ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.
ඒ අනුව පොලිස් ස්ථානාධිපති සම්පත් වික්‍රමරත්න ඩිපෝ කළමනාකරු නවරත්න බණ්ඩාරට ඇය පිළිබඳව දන්වා ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන්ද දැනුවත් කර රැකවරණය සඳහා වැඩපිළිවෙළක් දියත් කිරීමට පියවර ගෙන තිබේ.
VIDEO:
https://www.facebook.com/watch/?v=939559139881533
( මුලාශ්‍ර : අරුණ පුවත්පත)