පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති විමර්ශන කොමිසමේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධනගෙන් හරස් ප්‍රශ්න නොවිමසන ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය එම කොමිසමේදී ප්‍රකාශ කර සිටිනවා.
ඒ, පසුගිය සිකුරාදා කොමිසමේ සභාපතිවරයා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියගෙන් හිටපු බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධනගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාවක් අවශ්‍යද යන්න විමසු අවස්ථාවේදී මේ බව එම නීතිඥවරිය ප්‍රකාශ කර සිටියා.
එහිදී එම නීතිඥවරිය කියා සිටියේ ‘‘මාගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන දන්වා තිබෙනවා හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධනගෙන් හරස් ප්‍රශ්න නොවිමසන ලෙස’’ යන්නයි.
මේ අතර එදින හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගෙන් හරස් ප්‍රශ්න ඇසීමට යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයාට අවස්ථාව ලබාදුන්නා.
එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේජර් ප්‍රදීප් පයාගල හරස් ප්‍රශ්න අසමින් පසුගිය වසරේ මාර්තු 24 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට ලබාදුන් ලිපියක් නිලන්ත ජයවර්ධනගේ අවධානයට යොමු කර සිටියා.
එම ලිපියේ අන්තර්ගත වී තිබුණේ මීට පෙර කොමිසම හමුවේ අනාවරණය වූ හිටපු ඇමැති රිෂාඩ් බදුයුන්ගේ සහෝදරයකු වන රිෆ්කාන් බදුයුදීන්ගේ සහය ඇතිව සහරාන් හෂීම් ඉන්දියාවට පලාගොස් ඇති බවට වූ බුද්ධි තොරතුරුයි.
නිලන්ත ජයවර්ධන සාක්ෂි දෙමින් මීට පෙර කොමිසම හමුවේ සඳහන් කළේ යුද හමුදා බුද්ධි සේවය විසින් ලබාදුන් අදාළ තොරතුරේ එක් කොටසක සහරාන් ඉන්දියාවට පලාගොස් ඇති බවත්, තවත් කොටසක සහරාන් මෙරට තුළ රැඳී සිටින බවටත් සඳහන් කර තිබූ නිසා එහි පරස්පරතාවක් මතුවූ බවයි.
නීතිඥවරයා – අපි එවූ වාර්තාව සහරාන් පිළිබඳව විමර්ශනය කිරීමට බාධාවක් වුණා කියලද ඔබ හිතන්නේ?
නිලන්ත ජයවර්ධන – මට යුද හමුදා බුද්ධි අධ්යක්ෂවරයාගේ වාර්තාව සහරාන් ගැන හොයන්න බාධාවක් වුණේ නැහැ. අනිත් කරුණ තමයි යුද හමුදා බුද්ධි අංශයට කලින් මට බටහිර බලගතු බුද්ධි අංශයක් තොරතුරු ලබාදුන්නා සහරාන් පිටරටක ඉන්නවා කියලා.
අනතුරුව හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාව හිමි වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නගේ නීතිඥවරයාටය. නමුත් එහි බොහෝ සාක්ෂි විමසීම් සිදුකරනු ලැබුවේ මාධ්‍ය නොමැතිවයි.