කුරුණෑගල නගරාධිපති ඇතුළු 05 දෙනා අත්අඩංගුවට ගන්න එපා : අභියාචනාධිකරණය දුන් තීන්දුව

August 25, 2020 at 10:22 AM
කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත් හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
මෙම අතුරු තහනම් නියෝගය මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇත.
කෙසේවෙතත් පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සදහා මෙම නියෝග බාධාවක් නොවන බව අභියාචනාධිකරණය දැනුම් දී ඇත.
තවද පෙත්සම්කරුවන් පරීක්ෂණ අතරතුර අත්අඩංගුවට ගැනීමක් නොකරන ලෙසට පොලීසියට නියෝග කළ අභියාචනාධිකරණය ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත නොකරන ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කරන ලදී.
ඒ අනුව පෙත්සම්කරුවන්ට හෙට දින නීතිඥවරුන් මාරගයෙන් හෙට දින මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරන ලදී.
මෙම නියෝගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් මහතා සහ සෝභිත රාජකරුණා මහතා විසින් නිකුත් කරන ලදී.
ඒ අනුව රිට් පෙත්සම් වල වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකු අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා, කුරුණෑගල පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.