කොරෝනා ආසාදිත හමුදා නිලධාරියාගේ මවට සහ මිත්තණියටත් වෛරසය ආසාදනය වෙයි : 62ක් නිරෝදායනයට

July 17, 2020 at 8:29 PM

නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වු පිළියන්දල, දැල්තර ප්‍රදේශයේ හමුදා නිලධාරියාගේ මවට හා මිත්තනියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන් පදිංචිව සිටි පිළියන්දල, දැල්තර වෙළඳසැල් 4ක් ඇතුළු නිවාස 20ක පුද්ගලයින් 62ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදිත එම කාන්තාවන් දෙදෙනා සංචරණය කළ පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ එම රෝහලේ සේවකයින් 11 දෙනෙකු හා රන් භාණ්ඩ අලෙවි සැලක සේවකයින් 06 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ අතර කොවිඩ් ආසාදිත බවට පසුගිය දා තහවුරු වූ යුද හමුදා සෙබළෙකු ඉකුත් 7 වැනිදා සිය පවුලේ සාමාජිකයින් ඇතුළු 20 දෙනෙක් සමග කතරගම වන්දනාවේ ගොස් ඇතැයි අනාවරණ වූ බව කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

ඒ අනුව එම පුද්ගලයා සංචාරය අතරතුර නවාතැන් ගත් නවාතැන්පොළේ සිටි 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

කෙසේ වෙතත් එය නිරෝධායනයට යොමු කර ඇති ස්ථානයක් බව දන්වමින් අලවා තිබු දැන්වීම් පත්‍රිකාව ඊයේ රාත්‍රියේ කිසිවකු ඉරා දමා තිබූ අතර එහි මත්පැන් සාදයක්ද පවත්වා ඇති බවට වාර්තා වනවා. සිද්ධිය සැලවීමත් සමග අද එහි පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.