ජ ‘පුර සරසවියේදී නවක වදයට බඳුන් වූ පසිදු යලි සරසවියට පැමිණෙයි (VIDEO)

July 9, 2020 at 12:43 AM

විශ්වවිද්‍යාල සාදයක් අවසානයේදී සිසුවෙකු එවන ලද ටයරයක් ශරීරයේ ගැටී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පසිඳු හිරුෂාන් සිසුවා අද (8) යළි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියා. ඒ සිය අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහායි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩ බලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්වරු විසින් එම සිසුවා පිළිගෙන විශ්ව විද්‍යාලය තුළට කැඳවාගෙන යනු ලැබුවා.

යලි විශ්ව විද්‍යාලයට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් තමන්ට සතුටක් ඇති බවත් සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් දුක් වී ප්‍රයෝජනයක් නොමැති බවට පසිදු හිරුෂාන් සිසුවා මෙහිදී කියා සිටියා.

ඉකුත් මාර්තු මස 5 වැනි දා රාත්‍රියේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති සාදයක් අතරතුර දී ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් පසිඳු වෙත තල්ලු කර යැවු විශාල ට්‍රැක්ටර් ටයරයක් හිසේ වැඳී ඔහුට බරපතළ තුවාල සිදුවිය.

හිසේ අභ්‍යන්තර තුවාල හේතුවෙන් පසිඳු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ස්නායු අංශයේ මාස 3කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිට පසිඳු පසුගිය ජුනි මස 11 වන දින නිවස වෙත පැමිණියා.