විදුලි බිලට එන සහනය ගැන ඇමතිගේ අනාවැකිය

July 8, 2020 at 4:22 PM

විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විදුලි බිල සම්බන්ධව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ.

එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් එහා ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය වරයා පැවසීය

කමිටුවේ නිර්දේශ මහා භාණ්ඩාගාරය වෙත යොමු කර ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබාගෙන ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට එම යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වුවද ලබා දිය හැකි උපරිම සහනය මහජනතාවට රජය විසින් ලබා දෙන අතර කිසියම් පුද්ගලයෙක් දැනටමත් තමන් විසින් බිල්පත් වැඩිපුර මුදල් ගෙවා ඇත්නම් ඒවා ආපසු ලබා දීමට හෝ මීළඟ බිල්පතෙන් පියවීමට හෝ පියවර ගැනේ.

එමෙන්ම මාර්තු හා අප්‍රේල් මාස වෙනුවෙන් බිල්පත් සඳහා ගෙවීමට සහන කාලයක් ලබා දීමට ද යෝජිත අතර විදුලි බිල්පත් නොගෙවිම නිසා කිසිසේත් ම කිසිදු පුද්ගලයෙකුගේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය
.