සියලු බන්ධනාගාරවල රඳවා ඇති රැඳවූවන් බැලීම අමුත්තන් සදහා තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර මුලස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ වැලිකඩ බන්ධනාගාරයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගියෙකු වාර්තා වීමත් සමගයි. ආරක්ෂිත පියවරක් වශයෙන් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉකුත් ජූනි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවුණු සියලූ රැඳවූවන් PCR පරීක්ෂණ සඳහා යොමුකර ඔවුන් වෙනම රඳවා තබන්නැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර අධිකාරීවරුන්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේදී ඊයේ දිනයේ දී PCR පරීක්ෂණයන්ට ලක්වූ තවත් 100 දෙනෙකුගේ වාර්තා වන් අද දිනය තුලදී ලැබීමට නියමිත බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඊයේ දිනයේදී වාර්තා ලැබූ 210 දෙනෙකුගේ පරීක්ෂණ වාර්තා අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට කරුණු තහවුරු වී තිබෙනවා.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිට මොණරාගල බන්ධනාගාරයට මාරු කර යවා හරිනු ලැබූ රැඳවියන් තිදෙනෙකුට උණ රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් ඔවුන්ව රෝහල් ගත කොට තිබෙනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදුකිරීමට නියමිතව ඇති අතර ඔවුන් සමග සිටි තවත් රැඳවියන් 30 දෙනෙකු ද PCR පරීක්ෂණයන්ට ලක් කිරිමට නියමිතව ඇත.