ගතවූ පැය 24 තුලදී ලොවපුරා කොරෝනා රෝගීන් 183,000ක්

June 22, 2020 at 10:00 AM

දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වූ ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා.

සිය දත්ත අනුව ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතයින් 183,000ක් වාර්තා වූ බවයි එම සංවිධානය සඳහන් කළේ. වාර්තා වූ රෝගීන් ගෙන් සීයයට 60 ක ප්‍රමාණයක් උතුරු සහ දකුණු ඇමෙරිකානු රටවලින් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර සිටියා.

මේ අතර අමෙරිකාවෙන් පසු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන රට බවට බ්‍රසීලය පත්ව තිබෙනවා. එරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටිනවා. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද මිලියනයක් ඉක්මවා ඇත.

කෙසේ වුවත් බ්‍රසීලයේ මියගිය සහ වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව මීට වඩා ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ලොවපුරා කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 09 ක් ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ ගණන 470,698 ක්.