මිනසෝටා ප්‍රාන්තයේ පොලිස් නිලදාරියෙකු අතින් කළු ජාතික ෆ්ලොයිඩ් නම් තරුණයෙකු ඝාතනය වීමත් සමග ඇමෙරිකාව පුරා පැතිර ගිය උණුසුම මධ්‍යයේ ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් බංකරයක සැඟවුණු බවට ඊයේ වාර්තා පළ විය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම හෙතෙම ධවල මන්දිරයේ ඕවල් ඔෆිස් හෙවත් ජනපති කාර්‍යාල කාමරය මායිම් කොට ඇති රෝස් ගාඩ්න් නම් සිය සුපුරුදු මාධ්‍ය අමතන ස්ථානයේදී අදහස් දැක්වීය.
ඝාතනය වූ ෆ්ලොයිඩ් ට සාධාරණයක් ඉටු වන බව පැවසූ ඔහු ඒ සමගින් රට පුරා ව්‍යප්ත වූ අරගල රැල්ල හෙළා දුටුවේය.
වෘත්තීය අරාජිකවාදීන් ලෙස එම පිරිස හැඳින්වූ ට්‍රම්ප් ජාතික ආරක්ෂක බළඇණි යොදා ඔවුන් පාලනය කරන ලෙස සියලු ප්‍රාන්ත ආණ්ඩුකාවරුන්ට අණ කළේය.
වොශිංටනයේ ලින්කන් චතුරස්‍රය හා දෙවන ලෝක යුධ සැමරුම් ස්මාරකය ද උද්ඝෝෂකයන් විසින් වනසා ඇතැයි ට්‍රම්ප් චෝදනා කළේය.
රට තුළ ක්‍රියාත්මක වන්නේ එකම නීතියක් බව පැවසූ ඔහු ඇඳිරිනීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අණ කළේය.
සිය කතාවෙන් පසු ඔහු යම් විශේෂ ස්ථානයක සැමරුමක් සඳහා යන බව පැවසුවත් එම ස්ථානය හෙළි නොකළේය.
නමුත් පසුව හෙළි වුයේ ඔහු ධවල මන්දිරය අසල පිහිටි දේවස්ථානයක් වෙත ගිය බවයි. දැඩි ආරක්ෂක රැකවල් මැද ඔහු එහි ගිය ආකාරය රොයිටර් පුවත් සේවය මෙසේ වාර්තා කළේය.
පසුව එම දේවස්ථානයේ දී ඔහු බයිබලයක් ද අතැතිව ඡායාරූපය කට පෙනී සිටියේය.