මැති ඇමතිවරුන්ට වාහන ආනයනය වසර 5කටම තහනම් !

May 14, 2020 at 1:06 PM

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන ඇතිවී තිබෙන ආර්ථික පරිහානිය යළි යථා තත්ත්වයට පත් කිරීම සදහා ඉදිරි වසර 05ක් යනතුරු ඇමැතිවරුන්ට හෝ රජ්‍ය නිළධාරීන්ට නව වාහන ආනයනය නතර කිරීමට කටයුතු කරන බව රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ මේ වන විට ඇමැතිවරුන්ට වාහන ගෙන්වීමට රජය කටයුතු කරගෙන යන බවට පලවන විවිධ මාධ්‍ය වාර්තා මුළුමනින්ම සාවද්‍ය බවත් ඇමැතිවරුන්ට වාහන ලබා දීම වසර 03ක කාලයකට මේ විටත් නතර කර ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශයට අනුව මැති ඇමැතිවරුන්ට වසර 03ක් යනතුරු වාහන ආනයනය කිරීම නොකරන බවට ලබා දුන් පොරොන්දුව මේ වන විටත් ක්‍රියාත්මක වන බව වෛද්‍ය පතිරණ මහතා පැවසුවේය.

තවද පවතින ආර්ථික තත්ත්ව සහ රජයේ ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කරමින් එම සීමා කිරීම වසර 05ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය