විදෙස් ණය නොගෙන ආයෝජනවලින් පමණක් නව සංවර්ධන වැඩ සිදු විය යුතු බව ජනපති පවසයි.

May 12, 2020 at 1:30 AM

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළක් කෙරේ රජයේ අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවෙන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශ ලේකම්වරුන්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආයතන, මාර්ග සංවර්ධන අධිකාරියේ, ආයෝජන මණ්ඩලයේ සහ වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් සමග  (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මේ එම සාකච්චාව ගැන ජනාධිපතිවරයා තැබූ සටහනක්. 

ජන ජීවිතය යතා තත්වයට පත් කරමින් ආර්ථිකය විවෘත කිරීමත් සමග කලින් ඇණ හිට තිබූ සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළයුතු බව මම අවධාරණය කළෙමි.

විදෙස් ණය නොගෙන ආයෝජනවලින් පමණක් නව සංවර්ධන වැඩ සිදු විය යුතු අතර සියලු ව්‍යාපෘති දේශීය ප්‍රතිපත්තියකට අනුකූල විය යුතු බව මම තරයේ විශ්වාස කරමි.

කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ.

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනා ගනිමින් අත්පත් කර ගැනීමට ද සාකච්ඡා විය. අඩු, මධ්‍ය සහ ඉහළ ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම ද ඇරඹේ.

විදෙස්හි සිට පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් සියලු පහසුකම් සහිත නිවාස ඉදිකර කුලී පදනම මත ලබාදීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

විවිධ හේතුන් මත ඉදිකිරීම් නතර කර ඇති, කොළඹ නගරය ආශ්‍රිත සියලු මහා පරිමාණ ගොඩනැගිලි සහ සංවර්ධන කටයුතු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර කඩිනමින් යළි අරඹන්නැයි මම උපදෙස් දුන්නෙමි.

කොළඹ සහ සෙසු නගර යා කරමින් ඉදිකිරීමට අපේක්ෂිත මාර්ග පද්ධතියේ වැඩ වේගවත් කිරීමට ද තීරණය විය.

ප්‍රයෝජනයට නොගත් භූමි හඳුනා ගනිමින් සංවර්ධනය කර ඇති මංතීරු දෙපස පරිසර හිතකාමී කෘෂි කටයුතු ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කෙරිණ.